සිය 8 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය 5 වන ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ, නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ය.
ඔහු සිය මංගල තරගයේ සිට ටෙස්ට් ශතක පහක් රැස් කළ තුන් වන වේගවත් ම ටෙස්ට් ශතකලාභීන් අතරට එක් විය. ඔහු ඉනිම 13කදී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ ජෝර්ජ් හෙඩ්ලි සම කළේ ය. අඩු ම ඉනිම් ගණනකදී ශතක 5ක් රැස් කළ පිතිකරුවන් අතර පෙරමුණේ සිටින්නේ, එවර්ටන් වීක්ස් (තරග 10), හර්බට් සට්ක්ලිෆ් (තරග 12) සහ නීල් හාවි (තරග 12) පමණි.
ඔහු ඊයේ (සැප්: 26) තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ, තමන් සහභාගි වූ පළමු තරග අටේදී ම ලකුණු 50 ඉක්මවා රැස් කරමිනි.
ඒ අනුව, පළමු තරග වැඩි ම සංඛ්‍යාවකදී සෑම තරගයකදී ම ලකුණු 50කට වඩා රැස් කළ ක්‍රීඩකයා බවට ඔහු ලෝක වාර්තාවක් තැබී ය.
මෙම ලෝක වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ, පකිස්ථාන ක්‍රීඩක ෂවුද් සකීල් ය. ඔහු පළමු 7දී ලකුණු 50ට වඩා රැස් කරමින් ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.
කමිඳු මෙන්ඩිස් මේ වසරේදී තවත් වාර්තා රැසක් පිහිටුවීය
කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මේ වසරේ මාර්තු මාසයේදී පිහිටුවන ලද එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.
ලකුණු 5කින් අහිමි වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව
1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි.
1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි.කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.
සෙසු වාර්තා
කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.
1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය (මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)
2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය
ධනන්ජය සහ කමිඳු - පළමු ඉනිම 202, දෙවන ඉනිම 177
පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් - පළමු ඉනිම 184, දෙවන ඉනිම 168
ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් - පළමු ඉනිම 161, දෙවන ඉනිම 237
3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව.
(කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)
කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වන දා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, වමත් පිතිකරුවෙකු වන අතර, දෑතින් ම දඟ පන්දු යැවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව, ඔහු B-Love Kandy, ටැමිල් යූනියන්, බංග්ලාදේශයේ සිල්හෙට් ස්ට්‍රයිකර්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙකි.
මේ වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, කමිඳු මෙන්ඩිස් ය.
ඔහු 2022 වසරේදී ටෙස්ට් වරම් ලැබූ අතර, පළමු තරගයේදී ම අර්ධ ශතකයක් රැස් කළ ද, ඉන්පසු වසර දෙකක් ගත වන තුරු ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවීමක් නොලැබිණි.
ඔහු මේ වන විට 8 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර ඔහුගේ පළමු තරග 7දී ලකුණු 822ක් රැස් කර තිබිණි.
Comments